2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

ජේම්ස් බොන්ඩ් චරිතයෙන් ලොවම වසඟ කළ ෂෝන් කොනරි

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

ලොව පුරා සුවහසක් සිනමා රසික රසිකාවියන්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ෂෝන් කොනරි නොහොත් “ජේම්ස් බොන්ඩ් 007” පසුගියදා දිවි රඟමඬලෙන් සමුගත්තේ 90 වැනි වියේදීය. ජගත් සිනමාවේ සදා නොමැකෙන නාමයක් සනිටුහන් කළ ෂෝන් කොනරි ස්කොට්ලන්තයේ උපත ලද්දේ 1930 අගෝස්තු මස 25 වැනිදාය. සාමාන්‍ය පවුලක උපන් තෝමස් ෂෝන් කොනරිගේ පියා ලොරි රියැදුරෙක් ලෙස සේවය කළේය. කුඩා කල ෂෝන්ගේ මිතුරන් ඔහු අමතා ඇත්තේ (ටොමී) කියාය.

වයස අවුරුදු 13 පමණ වනවිට ඔහු පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියා, තම මවට හා පියාට සහාය වූ අතර මේ කාලය තුළ කුඩා ෂෝන් කිරි බෙදීමේ රැකියාවක් කර තිබිණි. පසුකලෙක ඔහු ජනකාන්ත රංගන ශිල්පියකු ලෙස ප්‍රසිද්ධ වූ ජේම්ස් බොන්ඩ් චරිතය එම කතා මාලාවට අනුව අධ්‍යාපනය ලබා ඇත්තේ FETTES SCHOOL නම් පාසලේය. කුඩා ෂෝන් සැබෑ ජීවිතයේ එම පාසලට කිරි බෙදීමේ රාජකාරියද කර තිබීම සුවිශේෂී අහඹුවකි. ජේම්ස් බොන්ඩ් කතාමාලාව ඉයන් ෆ්ලෙමිං විසින් ලියන ලද ප්‍රබන්ධ කතා පෙළකි. කායවර්ධන හා පාපන්දු ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ ෂෝන් වයස අවුරුදු 18 වනවිට අඩි 6 අඟක් 2 උසින් යුත් කඩවසම් තරුණයෙක් විය. කලක් මල් ශාලාවක මිනීපෙට්ටි ඔප දැමීමේ රැකියාවකද නියැලී සිටි ෂෝන් 1946දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට බැඳුණේ වසර 7ක ගිවිසුමකට යටත්වය. එහෙත් ඔහුට කලින් කල වැළඳි උදරාබාධයක් හේතුවෙන් නාවික හමුදා රැකියා කාලය වසර තුනකට සීමා විය.

ඉන් අනතුරුව ට්‍රක් රථ රියැදුරකු ලෙසත්, ජීවිතාරක්ෂකයකු ලෙසත් තාවකාලික රැකියාවන්හි නිරත වූ ඔහු පාපන්දු ක්‍රීඩාව අමතක කළේ නැත. ඔහු ක්‍රීඩා කළ පාපන්දු කණ්ඩායමත් සමඟ සංචාර රැසකට සහභාගී වූ ෂෝන්. වසර 11ක පමණ කාලයක් පුරා වෘත්තීය මට්ටමේ පුහුණුකරුවකුගේ අධීක්ෂණය යටතේ නර්තනයද හැදෑරුවේය. ඔහුට ප්‍රතාපවත් සිරුරක් හිමිවීමට ක්‍රීඩාව හා නර්තනය තුළින් ලැබූ පන්නරය හා හික්මීම හේතුවන්නට ඇතැයි ඔහුගේ ජීවිත කතාව කියැවූ බොහෝ දෙනා විශ්වාස කළහ.
සිනමා නළුවකු වන්නට ප්‍රථම ඔහු කලක් එඩින්බරෝ සුප්‍රසිද්ධ චිත්‍ර පාසලක සිසුන් වෙනුවෙන් නග්න නිරෑපණ ශිල්පියකු ලෙසද කටයුතු කර තිබිණි.

1957 වසරේදී ඔහු සිනමාවට අවතීර්ණ වන්නේ NO ROAD BACK චිත්‍රපටය හරහාය. සිනමා වරම් ලැබීමත් සමඟම ෂෝන්ට එක්තරා ප්‍රාන්තයක පාපන්දු කණ්ඩායමක ක්‍රීඩා කිරීම සඳහා අති විශාල මුදලක් ලබාදීමට කැමැත්ත පළකර තිබිණි. සිනමාව හා පාපන්දු ක්‍රීඩාව අතරින් දෛවය ඔහු යොමු කළේ සිනමාව දෙසටය. සැබවින්ම ඔහුගේ ජීවිතය දෛවෝපගත ලෙස වෙනස් කළේ සිනමාවය.

සෑම අංශයකින්ම ඔහු ප්‍රකට කළ සියුම් කුසලතාවන් ෂෝන් කොනරිගේ පෞරුෂය වඩාත් තීව්‍ර කළේය. තම විෂය පද්ධතිය තුළ ෂෝන්ගේ දැනුම් සම්භාරය අසීමිත වීම ඔහුගේ සාර්ථකත්වයට තවත් එක් හේතුවක් විය. ෂෝන් කොනරිගේ ජීවිතයේ සුවිශේෂීම පරිච්ඡේදය ඇරඹෙන්නේ 1960 දශකය ඇරඹීමත් සමඟය. ඉයන් ෆ්ලෙමිං විසින් රචිත ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ජේම්ස් බොන්ඩ්ගේ චරිතයට ඔහු සෑම අතින්ම සුදුස්සෙකු වුවත් ඉයන් ෆ්ලෙමිං, ෂෝන් එම චරිතයට තෝරා ගැනීම ගැන මුලින්ම අකමැත්ත පළකර තිබිණි. එහෙත් පසුකාලීනව ඉයන්ම පවසා තිබුණේ ජේම්ස් බොන්ඩ් චරිතයට නියම සුදුස්සා ෂෝන් කොනරි බවය.

චිත්‍රපට රංගනයට පිවිසීමට පෙර ෂෝන් මිස්ටර් යුනිවර්ස් තරග සඳහාද සහභාගී වී කිරුළ ලබාගැනීමේ අභියසටම පැමිණ ඇත.

ඔහුටම ආවේණික රංගන ශෛලියකට හිමිකම් කී ෂෝන් හොලිවුඩ් සිනමාවේ අසහාය නළුවා බවට පත්වන්නේ ජේම්ස් බොන්ඩ් රහස් ඒජන්තවරයාගේ චරිතය හරහාය.

1962 වසරේදී DR.NO චිත්‍රපටයෙන් බොන්ඩ් චරිතයට අවතීර්ණ වූ ෂෝන්, ඉන් අනතුරුව FROM RUSSIA WITH LOVE (1963), GOLDFINGER (1964), THUNDERBALL (1965), YOU ONLY LIVE TWICE (1967), DIAMONDS ARE FOREVER (1971) හා NEVER SAY NEVER AGAIN (1983) චිත්‍රපටවල ජේම්ස් බොන්ඩ් විය.

ඒ අතරතුර කාලයේදී ඔහු වෙනත් සුප්‍රසිද්ධ සිනමාකරුවන්ගේ නිර්මාණවලටද දායක විය. එම චිත්‍රපට ජාත්‍යන්තර සම්මානවලට පවා පාත්‍ර වූ නිර්මාණ බවට පත්විය. සිඩ්නි ලූටට් අධ්‍යක්ෂණය කළ THE HILL චිත්‍රපටය කාන් සිනමා උළෙලේ හොඳම තිර රචනයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

ෂෝන් කොනරිගේ හිසකෙස් හැලීම ආරම්භ වී ඇත්තේ ඔහු 18 වැනි වියේ පසුවන අවධියේය. කෙමෙන් ඔහුගේ හිසකෙස් අඩු වූ බැවින් ෂෝන් කොනරි රඟපෑ සෑම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් සඳහාම බොරැ කොණ්ඩයක් පාවිච්චි කර ඇත.

තම රංගන චාරිකාවේ ඇකඩමි සම්මාන මෙන්ම, BAFTA හා ගෝල්ඩන් ග්ලෝබි සම්මානවලට හිමිකම් කී ෂෝන්, වසර 2000දී බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණ විසින් නයිට් ගෞරව නාමයෙන්ද පුදනු ලැබීය. 1962 වසරේදී ඩියෑන් සිලෙන්ටෝ සමඟ විවාහ වූ ෂෝන්, වසර 11ට පසු ඇගෙන් දික්කසාද වූ අතර ඔවුන්ට දාව එක් පුත්‍රයෙක් සිටී. 1975 දී ෂෝන්, මිෂෙලීන් රොකබ_ස් සමග විවාහ විය. ෂෝන් දැඩි ස්ත්‍රී ලෝලියකු වූ බව හොලිවුඩයම දන්නා රහසකි. ඔහුගේ ජීවිතයට සමීප වූ ස්ත්‍රීන්ගේ ආන්දෝලනාත්මක කතා හොලිවුඩ් මාධ්‍ය වරින්වර පළ විය. ඔහුගේ ඇතැම් පෙම් සබඳතා පිළිබඳ පුවත් මුළුමනින්ම සත්‍ය නොවූවද, ඒවා මුළුමනින්ම අසත්‍ය නොවූ බවද ඇතැමුන්ගේ අදහස වේ.

පසුකාලීනව ෂෝන් ඇතැම් සිනමාකරුවන් සමඟ මත ගැටුම් ඇතිකරගෙන තිබූ අතර ඒ හේතුවෙන් ඔහු තරමක අසහනකාරී තත්ත්වයකින් කල් ගෙවා ඇත. ඔහු රංගනයෙන් දායක වූ 93 වැනි චිත්‍රපටය තිරගත වූයේ 2003 වසරේදීය. 2006 වසරේදී ඔහු නිල වශයෙන් සිනමාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කර සිටියේ තරමක හිත් රිදීමකින් බව සිනමා විචාරකයෝ පවසති.

1989 දී, ඔහු 60 වැනි විය ආසන්නයේදී ද පීපල් සඟරාව මගින් පැවැත්වූ සමීක්ෂණයකින් ෂෝන් වසරේ සරාගි මිනිසා ලෙස නම් කර තිබුණි. 2003 වසරේදී බ්‍රිතාන්‍ය සමීක්ෂණයකට අනුව ලොව ශ්‍රේෂ්ඨතම නළුවන් 100 දෙනා අතර ෂෝන් කොනරිට 8 වැනි ස්ථානය හිමිවිය. ඔහුටම ආවේණික වූ රංගන ශෛලියකින් ලොවක් වසඟ කළ ෂෝන් කොනරිගේ ජීවිතය කියැවීමේදී, ඒ තුළ සුපිරි චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා ඇවැසි අමුද්‍රව්‍ය රුසක් තිබෙන බව ඇතැම් පිරිස් මත පළකර තිබේ.

 රමේෂ් උවයිස්